Wednesday, October 25, 2017

ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදය

මහාචාර්ය ඩබ්. ජී. කුලරත්න
වර්තමාන ශ‍්‍රී ලංකා අධ්‍යාපනය අභි යෝග රැසකට මුහුණ දී ඇත. අධ්‍යාපනයේ ප‍්‍රමාණාත්මක පැතිරීම පිළිබඳ සතුටු විය හැකි නමුත්, එහි ගුණාත්මක වර්ධනය පිළිබඳ තෘප්තිමත් විය නොහැකිය. ගෝලීය කරණය නිසා වෙනස් වී ඇති සමාජ ඉල්ලූම ඉටුකිරීමට අධ්‍යාපනය පොහොසත් වී නැත. විශේෂයෙන් පාසල් වලින් හා විශ්ව විද්‍යාලවලින් පිටවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අපේක්ෂා ඉටුකිරීමට හෝ රැුකියා ලබා දීමට නොහැකි වීම විශාල ගැටලූවකි. මූලික භෞතික පහසුකම් නොමැති විශාල පාසල් සංඛ්‍යාවක් දක්නට ලැබීම කනගාටුදායකය. සමහර පාසල් වල ගුරු අතිරික්තයක් සිටින අතර, තවත් සමහර පාසල් වල ගුරු හි`ගයක් දක්නට ලැබීම අවාසනාවකි. පාසැල් හා විශ්ව විද්‍යාල ඉගෙනගන්නා ආයතන නොව උගන්වන ආයතන බවට පත් වී ඇත. විශාල වශයෙන් පැතිරී ඇති ටියුෂන් අර්බුදය මෙම පිරිහීමේ තවත් ලක්ෂණයකි. විශාල පාසැල් තව තවත් විශාල වන අතර, කුඩා පාසල් තව තවත් කුඩා වෙමින් වැසී යාම තවත් අර්බුදයකි. සමස්තයක් වශයෙන් නිදහස් හා තාර්කානුකූලව සිතන රටට වැඩදායක බුද්ධිමත් ශිෂ්‍ය පිරිසක් බිහිකිරීමට අධ්‍යාපන ක‍්‍රමය අසමත් වී ඇත.
මේ නිසා පහත සඳහන් ප‍්‍රශ්නවලට පිලිතුරු දීමට සිදු වී ඇත.
1. ගෝලීයකරණය හා සම්බන්ධ උසස් අධ්‍යාපනයට හා වෙළඳපල ආර්ථිකයට සරිලන ශිෂ්‍යයන් බිහිකිරීමට හැකි වේ ද?
2. පාසැල් මගින් සමාජයට අවශ්‍ය කුසලතා හා දැනුම හා සුදුසු ආකල්ප ලබාදෙන අතර, සිසුන් විචාරශීලී, ප‍්‍රඥා සම්පන්න උගතුන් පිරිසක් බවට පත් කිරීමට හැකි වේ ද ?
3. විශාල පාසල් විශාල වී කුඩා පාසල් වැසී යාමේ තර්ජනයට පිලිතුරුක් වශයෙන් කුඩා පාසල් පද්ධතිය විශිෂ්ට ගනයේ පාසල් පද්ධතියක් බවට පෙරලීමට හැකි වේ ද?
4. පාසලට ළමුන් ඇතුලත් කිරීම , ගුරු හිගය හා විදුහල්පති පුහුණුව ආදී අධ්‍යාපනයේ පරිපාලන ගැටලූ විසදා ගැනීමට හැකි වේ ද?
5. ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සාමකාමී ජනවාර්ගික සමගිය ඇති කරලීමට සමත් අධ්‍යාපන ක‍්‍රමයක් බිහිකර ගැනීමට හැකි වේද?
නව සමාජ බලවේගයන්
වාමවාදී චින්තනයට අනුව වර්තමාන ධනවාදී සමාජ රාමුව තුළ එහි පදනම ලෙස ගොඩනැගෙන ශ‍්‍රමබලකාය වැදගත් සමාජ නිෂ්පාදනයක් ලෙස කැපී පෙනෙයි. මෙම සමාජයේ ප‍්‍රාග්ධන නිෂ්පාදනය කරන හා එහි ජීවය වන මෙම ශ‍්‍රම බලය පුහුණු කරන්නේ හා අධ්‍යාපනය සපයන්නේ ගුරුවරුන් හා අධ්‍යාපනඥයන් විසිනි. මේ නිසා ගුරුවරුන් හා අධ්‍යපනඥයන් හා විශ්ව විද්‍යාල කථීකාචාරයවරු විශාල සමාජ බලවේගයක් ලෙස ඉදිරියට පැමිණ ඇත. මෑත දී ශ‍්‍රී ලංකාවේ මැතිවරණ වලදී විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් හා ගුරුවරුන් සමාජ විපරිකාරකයන් ලෙස ක‍්‍රියා කිරීම මෙම බලවේගය ඉදිරියට පැමිණ ඇති බවට සාක්ෂියකි. සමාජයේ ප‍්‍රතිගාමී බලවේග පරදවා, ප‍්‍රගතිශීලී ඉදිරිගමනේ දී මෙම බලවේගයේ වටිනාකම ක‍්‍රමයෙන් වර්ධනය වීම යහපත් ලක්ෂණයකි.
පාසල් පද්ධතිය ධ‍්‍රැවකරණයට(Polarization) ලක් වීම
ලංකාවේ පාසල් පද්ධතිය විශාල ජනප‍්‍රිය හා බලවත් පාසැල් ලෙසත්, කුඩා පාසල් ලෙසත්, දෙපැත්තකට බෙදී යනු දක්නට ලැබේ. සමහර ජනප‍්‍රිය පාසැල්වල ශිෂ්‍ය සංඛ්‍යාව දහස්ගණනින් වර්ධනය වී ඇති අතර ඒවා පාලනය කර ගත නොහැකි තත්ත්වයට පත් වී තිබේ. අනික් අතින් ගම්බද හා අවාසිදායක ප‍්‍රදේශවල කුඩා පාසල් ක‍්‍රමයෙන් කුඩා වී වැසී යන තත්ත්වයට පත් වී ඇත. මෙම පාසල් පද්ධතියේ ධ‍්‍රැවකරණය නැවැත්වීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි. එසේම විශාල පාසල් සේවය කරන්නේ පොහොසත් පන්තියටය.කුඩා පාසල් සේවය කරන්නේ දුප්පත් පන්තියේ දරුවන්ටය. අධ්‍යාපනය සමාජ අසාධාරණය තීව‍්‍ර කරන ආයුධයක් බවට පත් වී තිබේ. මේ නිසා කුඩා පාසල් සංවර්ධන කිරීමේ වැඩ පිළිවෙලක් වහාම ආරම්භ කළ යුතුය. මෙය කළ හැක්කකි. ඕනෑම පාසලක් සංවර්ධනය කළ හැකිය. මේ සඳහා දක්ෂ විදුහල්පති වරයෙකු හා අවශ්‍ය පහසුකම් සැපයිය යුතුය. උදාහරණයක් වශයෙන් හෝමාගම ප‍්‍රදේශයේ දරුවන් 4 දෙනෙකු සිටි පාසලක් අද දරුවන් 400 ක් පමණ සිටින දියුණු පාසලක් බවට පත් කිරීමට ලක්ෂ්මන් කුලතුංග නමැති විදුහල්පතිවරයෙකු සමත් වී ඇත. මෑතදී දකුණු ප‍්‍රදේශයේ කරන ලද පරීක්ෂණයකින් ද කුඩා පාසල් කීපයක් සංවර්ධනය වී ඇති බව හෙලිවේ. මේ අනුව කුඩා පාසල් පද්ධතියේ දියුණු කිරීම වර්තමානයේ ජනප‍්‍රිය පාසල්වලට ඇති අධි ඉල්ලූමද නවත්වා දැමීමට හැකි උපක‍්‍රමයක් බව කිව යුතුය.
ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රමවේදය වෙනස් වීම
දියුණු රටවල අධ්‍යාපනය පිළිබඳ අප කළ නිරික්ෂණයන් මගින් පෙනී ගියේ. එම රට වල පළමු ශ්‍රේණිය සිටම ළමයින් ඉගෙනගන්නා බවය. එහෙත් අපේ රටේ පළමුවන ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාලය දක්වා ළමයින්ට උගන්වයි. මෙම තත්ත්වයේ මූලික වෙනසක් අවශ්‍ය වී තිබේ. කුඩා කල සිට ඉගෙනීමට ඉගෙනීම නැමැති සංකල්පය අනුව ක‍්‍රියා කළ යුතුය. ළමයෙක් තමන්ට ඉගෙනීමට හැකි යැයි සිතූවිට ඔහුගේ ඉගෙනීම කාටවත් නතර කළ නොහැක. මේ සඳහා ගුරු පුහුණුව වෙනස් කළ යුතුය. ගුරුවරයාගේ කාර්ය ඉගැන්වීම නොව ඉගෙනීමට සුදුසු පරිසරයක් ගොඩනැගීම බව මෙහිදී පෙන්වා දිය යුතුය. කුඩා කළ සිට ස්වයං අධ්‍යයනයට හුරුකිරීමෙන් මෙම පරිවර්තනය ඇති කළ හැකිය.
ශ‍්‍රී ලංකා අධ්‍යාපනයේ ආකෘතික වෙනසක් කළ යුතුය
කන්නන්ගර මැතිතුමාගේ සිට ශ‍්‍රී ලංකා අධ්‍යාපනය බි‍්‍රතාන්‍ය ආකෘතිය අනුව හැඩ ගැසුනි. කන්නන්ගර මහතාගෙන් අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම සඳහා අසමසම මෙහෙවරක් ඉටුවිය. එහෙත් ඔහු විසින් බි‍්‍රතාන්‍ය ආකෘතිය අනුගමනය කිරීම නිසා අපරටේ අධ්‍යාපනය ශාස්ත‍්‍රීය පැත්තට නැඹුරුවීමත් විභාග කේන්ද්‍රීය වීමත් දක්නට ලැබේ. එම නිසා වර්තමාන අධ්‍යාපනය බි‍්‍රතාන්‍ය ආකෘතිය පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඊශ‍්‍රායෙලය, ජපානය ආදී විවිධ රටවල ආකෘතියන් අනුව සකස් විය යුතුය. මෙම නව ආකෘතිය පදනම් කරගෙන ශ‍්‍රී ලංකා අධ්‍යාපනයේ විෂය මාලාව හා විභාග ක‍්‍රමය පූර්ණ වෙනසකට (Paradigm Shift) අවශ්‍ය ය. විෂය මාලාව නවීන ලෝකයේ වෙනස්වීම් වලට හා වෙළඳ පොළ ආර්ථිකයේ අවශ්‍යතා අනුව වෙනස් විය යුතුය. එසේම ටියුෂන් ක‍්‍රමයට අනුබල දෙන විභාග ක‍්‍රමය ප‍්‍රායෝගික හා කාර්යක්ෂම අධ්‍යාපන ක‍්‍රමයකට අවශ්‍ය ලෙස සංශෝධනය විය යුතුය.
අධ්‍යාපනයේ පරිපාලනය වෙනස් විය යුතුය
නවීන කළමණාකාරණ මූලධර්මවලට අනුව අධ්‍යාපන පරිපාලන පද්ධතිය වෙනස් කිරීම අවශ්‍යය මධ්‍යම රජයේ හා පළාත් සභාවල අධ්‍යාපන ක‍්‍රම ඒකාබද්ධ කර නව අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් අනුව අධ්‍යාපන පරිපාලනය මුලූ මනින්ම ප‍්‍රතිංසංවිධානය විය යුතුය. සමහර පාසල් වල ගුරු අතිරික්තයක් හා සමහර පාසල් වල ගුරු හි`ගයක් පැවතීම සිදු විය යුත්තක් නොවේ. අධ්‍යාපන තොරතුරු පරිගනක ගත කිරීමෙන් අධ්‍යාපනය පිළිබඳ බොහෝ ප‍්‍රශ්න ක්ෂණිකව විසඳිය හැකිය. එසේම විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ නව ක‍්‍රමවේදයක් ඇති විය යුතුය. දක්ෂ විදුහල්පතිවරුන් 10,000 ක් ක‍්‍රමානුකූලව පුහුණු කිරීමෙන් ශ‍්‍රී ලංකා අධ්‍යාපන පද්ධතියේ ගැටලූ විසඳිය හැකි යැයි සිතමි. වැසිකිලි, ජලය හා විදුලිය නොමැති පාසල් අපේ රටේ තිබීම ලැජ්ජාවට කරුණකි. මෙම දුර්වලතා අවසන් කර මූලික පහසුකම් සියලූම පාසල් වලට ලබා දීමට හොද පරිපාලන ක‍්‍රමයකට හැකියාව තිබේ.
විචාරශීලී බුද්ධිමතුන් බිහිකරන අධ්‍යාපනයක් අවශ්‍යය

අවසාන වශයෙන් අධ්‍යාපනයේ පරමාර්ථය විය යුත්තේ හුදෙක් විභාග සමත් දැනුමෙන් යුක්ත පිරිසක් බිහිකිරීම පමණක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සඳහා බහු සංස්කෘතික වාතාවරණයක් ඇති. යහපත් සමාජයක් ගොඩනැගීමට විචාරශීලී බුද්ධිමත් වැඩදායි පිරිසක් අධ්‍යාපනය මගින් බිහිකළ යුතුය. මේ සඳහා අධ්‍යාපනය විචාරවත් කිරීමත්, ක‍්‍රමවත් විද්‍යානුකූල ක‍්‍රමයකට සකස්කිරීමත් අවශ්‍යය. කුඩා කාලයේ සිටම විචාරශීලී විද්‍යාත්මක චින්තනයට ළමයින් හුරුකරන ආකාරයේ ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියක් සකස් විය යුතුය. නිර්මාණාත්මක හා සෞන්දර්යාත්මක දරුවෙකු බිහිකිරීම සඳහා අධ්‍යාපනයේ ප‍්‍රජානන මනෝචාලක හා ආවේදනික ක්ෂ්ත‍්‍රය පොහොසත් කරන පූර්ණ අධ්‍යාපනයක් සකස් කිරීමේ අභියෝගයට අපි අද මුහුණු දී සිටිමු.

No comments:

Post a Comment